Skip to main content

අමද්‍යප ව්‍යාපාරයට පුරෝගාමීව අනුග්‍රහය දැක්වූ දොන් ස්පෙටර් සේනානායක අරක්කු රේන්ද ව්‍යාපාරිකයෙක්ද ?



.*. මෙම ලිපිය 2018 හි ඔක්තෝබර් මස 07 වනි දින - ඉරිදා ලංකාදිප පුවත්පතේ  පළවුවකි. 

අමද්‍යප ව්‍යාපාරයට පුරෝගාමීව අනුග්‍රහය දැක්වූ දොන් ස්පෙටර් සේනානායක   අරක්කු රේන්ද ව්‍යාපාරිකයෙක්ද ?

සියවස් හතරකට අධික කාලයක් මුළුල්ලේ යුරෝපා ජාතින් ත්‍රිත්වයකගේ දෑතින් දෑතට යටත් විජිතයක් ලෙස හුවමාරු වූ මෙරට සහ එහි වැසියන්, එම වහල් යදම් බිද දමන්නට උත්සාහයන් ගත් අවස්ථාවන් බොහෝය. පෘතුගීසි සමයේ සිදුවූ මුල්ලේරියා මහා සංග්‍රාමය වැනි යුධ මෙහෙයුම් මෙන්ම ඉංග්‍රීසි සමයේ සිදුවූ උඩරට කැරැල්ල වැනි විප්ලවීය සටන්ද අප ජාතිය අදීන බව කරා පියමං කරමින් නිදහස් සටනේ ජය කොඩි ලෙළවන්නට ගත් යෝධ පියවරයන් වුහ. නමුත් එම උත්සාහයන් එකල පැවති සමාජීය, ආර්ථික, දේශපාලනික සහ පාරිසරික හේතුන් මත ව්‍යාර්ථ වී ගියද, මෙම නිදහස් සටනේ අවසාන අදියර කිසිදු අන්දමකින් නොසිතු විරූ ලෙස සාර්ථකත්වයක් කරා ගමන් කොට ඇති බැව් යටත් විජිත යුගය පිලිබඳ ඉතා මැනවින් හදාරන විට ගම්‍ය වන කරුණකි. ඊට පාදක වූ ප්‍රධාන සාධකය වුයේ, සෑම අභියෝගයන් සහ දුෂ්කරතාවයන් ජය ගනිමින් අදාළ ඉලක්කය වෙත ගමන් කිරීමට, චිරස්ථින අධිෂ්ඨානයක් සහ එම උද්‍යෝගය පිරි කුලකයක් එකම කාලයක් තුළ ඒකරාශී වීමයි.

යටත් විජිත යුගයේ අවසාන අදියර සමයේ පුරෝගාමීන් ලෙස, මෙම කුලකය අතර වඩාත් කැපී පෙනෙන චරිත කිහිපයක් විය. ඒ අතර සුවිශේෂී ප්‍රකට චරිතයක් වුයේ හාපිටිගම් කෝරළයේ, බොථලේ සේනානායක වලව්වේ ප්‍රධානියා වූ දොන් ස්පෙටර් සේනානායක මුදලිතුමන්ය. මන්දයත් 1912 වසරේ ආරම්භ වූ අමද්‍යප ව්‍යාපාරයේ දෙවන අදියරේ පුරෝගාමියා මෙන්ම ප්‍රධාන අනුග්‍රාහකයා වුයේද දොන් ස්පෙටර් සේනානායකයි. ඔහු වූ කලි පසු කලෙක නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම නායකයා සහ  අග්‍රාමාත්‍යවරයාද වූ මහාමාන්‍ය ඩි. එස්. සේනානායක මැතිතුමාගේ සහ අමද්‍යප ව්‍යාපාරයට මෙන්ම සම්බුද්ධ ශාසනය උදෙසාද  අනුපමේය මෙහෙයක් ඉටු කළ එෆ්. ආර්. සේනානායක මැතිතුමාගේද පියාණන් වේ.

ඉංග්‍රීසින් විසින් සුරාව මගින් අඩපණ කරනා අභිමානවත් ජාතියකට සත්‍ය පහදාදීම උදෙසා, අමද්‍යප ව්‍යාපාරයට පණ පොවමින් මහා ධනස්කන්ධයක් විය පැහැදම් කොට, ජාතියේ නැණ නුවණ පහදන්නට සහ සුරා විරෝධී බලමුළුවක් බිහිකරලීමට ඔහු දැරූ වෙහෙස අපමණය. නමුත් ඔහුගේ එම දැහැමි සහ ජාතිහිතෛෂී චරිතය වෙත එල්ල වන දැඩි චෝදනාවක් පිළබඳ විමසා බැලීමට වටී. ආචාර්ය කුමාරි ජයවර්ධන මහත්මිය විසින් ඉංග්‍රීසි බසින් රචිත “ Nobodies to somebodies “ යන ග්‍රන්ථයේ සහ එහි සිංහල අනුවාදය වන “ සොක්කන් ලොක්කන් වූ හැටි” යන ග්‍රන්ථයේ සඳහන් අන්දමට මෙම අමද්‍යප ව්‍යාපාරයට පණ පෙවීමට දොන් ස්පෙටර් සේනානායක යෙදවූ  මුදල් ඔහු  උපයා ගත් මුලාශ්‍රය වුයේ අරක්කු රේන්ද ව්‍යාපාරයයි යන්නයි. අරක්කු රේන්දය යනු ඉංග්‍රීසි අධිරාජ්‍යවාදී සමයේ  තැබෑරුම් පවත්වාගෙන යාම සඳහා සහ එහි බදු මුදල් එකතු කිරීම සඳහා රජය මගින් කුලී බලපත්‍ර ලබා ගන්නා පුද්ගලයා ඉංග්‍රීසි බසින් ඇරක් රෙන්ටර් (Arrack Renter) යනුවෙන් හැදින්විනි. එහි සිංහල උච්චාරණ උරුව, යටත් විජිත සම්මිශ්‍රණ සමයේ “අරක්කු රේන්ද” යනුවෙන් ජනවහරට එක් විය.     

සත්‍ය වශයෙන්ම දොන් ස්පෙටර් සේනානායකගේ ආදායම් ප්‍රභවය වුයේ අරක්කු රේන්ද ව්‍යාපාරයද යන්න පිලිබඳව ගවේෂණය කිරීම ඉතාමත්ම වැදගත් කරුණකි. මන්දයත් එය එසේ සිදුවුණි නම් බෞද්ධ පුනරුදය උදෙසා ඔහු නිර්ලෝභීව වියපැහැදම් කරන ලද්දේ, වෙනත් යටි අරමුණක් සහිතවද යන්න පැන නැගෙනා ගැටළුවකි. එලෙසම ඔහු එම ව්‍යාපාරය මගින් උපයා ගත්තේ නම්, අමද්‍යප ව්‍යාපාරය සහ බෞද්ධ  පුනරුදය සඳහා මුල්‍ය ආධාර ශක්තිය ලබා දීම තුළද, එමගීන් සිදු කල ක්‍රියාවලිය කෙතරම් දුරට සදාචාරසම්පන්න දැයි යන්න  පැන නැගෙන ගැටළුවකි. 

බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ ලංකාවේ ඉතිහාසය, ආර්ථික සමාජීය සහ සංස්කෘතික වටපිටාව, කර්මාන්ත සහ සම්පත් යන පැතිකඩයන් පිළිබඳව වටිනා තොරතුරු රැසක් නිරුපණය කරනා, 1907 දී ඉංග්‍රීසි ජාතික ආනොල්ඩ් රයිට්  විසින් සම්පාදිත “ ටුවෙන්ටිත් සෙන්චරි ඉම්ප්රේෂන් ඔෆ් සිලෝන්” නමැති ග්‍රන්ථයේ තොරතුරු මෙයට පාදක කරගැනීම ඉතා උචිත කරුණකි. මන්දයත් 1912 දී අමද්‍යප ව්‍යාපාරය ආරම්භ වීමට වසර 05 කට පෙරාතුව ඉංග්‍රීසි ජාතිකයෙකු විසින්ම සම්පාදිත මෙම කෘතියේ දොන් ස්පෙටර් සේනානායක මුදලිතුමා  පිලිබඳ සඳහන් කොට ඇති තොරතුරු විමර්ශනයට භාජනය කිරීම වැදගත් වේ.

එහි සඳහන් අන්දමට දොන් ස්පෙටර් සේනානායක යනු මනා අධ්‍යාපන පසුබිමක් සහිත වංශවතෙක් වන බැව් පෙනේ. ඔහු පාසල් අධ්‍යාපනය නිමා කරනවාත් සමගම වාගේ මිනිරන් ව්‍යාපාරය සඳහා යොමු වී ඇති බව ආනොල්ඩ් රයිට් විසින්ම සඳහන් කරයි. අද මෙන් නොව එකල මිනිරන් යනු සත්‍ය වශයෙන්ම එහි නාමමාත්‍ර ලෙස මැණික් සහ රත්රන් බඳු ඉතා වටිනා ඛනිජයකි.  ස්පෙටර් සේනානායකයන මිනිරන් ව්‍යාපාරයේ කෙතරම් දැවැන්තයෙක් වුයේද යත් ඔහුගේ මිනිරන් පතල  සතුව එකල අශ්ව බල තිස්හතරක , මෝටර් යාන්ත්‍රික ඇන්ජිමක් තිබී ඇති බවත් එහි ඉංග්‍රීසි ජාතිකයින් ඇතුළු සේවකයින් 3000 ක් පමණ සේවය කොට ඇති බවත් රයිට් විසින් සඳහන් කරනා කරුණකි.  උතුරු මැද සහ බස්නාහිර පළාතේ අක්කර 2000 ක පමණ පොල් වතු ඔහු තනි අයිතියෙන් හිමිවූ අතර, නිශ්චල  දේපොළ ඇතුළු බොහෝ වත්කම් ප්‍රමාණයක්  කොළඹ සහ මහනුවර යන ප්‍රදේශයන්හිද ඔහු සතුව තිබු බවද ආනොල්ඩ් රයිට් පවසයි.  එමෙන්ම එහි වැඩිදුරටත් සදහන් වන අන්දමට ස්පෙටර් සේනානායක මහතා  විසින්  එවක කොළඹ - වික්ටෝරියා අනුස්මරණ අක්ෂි රෝහල වෙත සහ ඉන්දියානු නියං සහනාධාර අරමුදල වෙත ඇතුළු සිදුකල අනේකවිධ නිර්ලෝභී පරිත්‍යාග හේතුවෙන්, එම ඉටුකළ මෙහෙයට ගෞරවයක් ලෙස යටත්විජිත ආණ්ඩුකාර ශ්‍රීමත් ජෝශප් වෙස්ට් රිජ්වේ විසින් දොන් ස්පෙටර් සේනානායක මැතිතුමා හට මුදලි තනතුර පිරිනමා ඇති බැව් රයිට් විසින් සඳහන් කොට ඇත.

පිටු 916 කින් සමන්විත එම ග්‍රන්ථය තුළ 20 වන සියවසේ මුල් භාගයේ මෙරට ඉතා ඉහළින් වැජඹුණු නාගරික සහ ග්‍රාමීය ප්‍රභූ පවුල් සියල්ලම පිළිබඳව පාහේ සවිස්තරාත්මක තොරතුරු රැසක් අනාවරණය කරන අතර, එම යුගය පිලිබඳ අධ්‍යයනයේ යෙදෙනා ඕනෑම ඉතිහාසඥයෙකුගේ විමර්ශනයට එම ග්‍රන්ථය සහ තොරතුරු අනිවාර්යෙන්  විමර්ශනයට භාජානය`භාජනය වේ.  එනම් මදි නොකියන්නට තරම් මෙබඳු  ධනයක් සහ පසුබිමක් හිමි, නිරන්තර පරිත්‍යාගශීලි චරිතයක් වූ ස්පෙටර් සේනානායකයන හට අරක්කු රේන්ද වැනි ව්‍යාපාරයක යෙදෙන්නට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව තර්කානුකූලව  ගම්‍ය වන කරුණකි. 

ජාතික ලේඛනාරක්ෂනක දෙපාර්තමේන්තුවේ 1893 – 1894 සහ 1894 – 1895 යන කාල වකවානු සඳහා අරක්කු රේන්ද බලපත්‍ර ලබාගත් අයවලුන්ගේ නාම සහිත ලැයිස්තුව මෙහිදී විමර්ශනය කිරීම වටී. එහි සදහන් නාමයක් ලෙස දොන් ස්පෙටර් යන නම අර්ථ දැක්වීමට බොහෝ පිරිස් උත්සහ  කලද, ඉංග්‍රීසි ජාතිකයෙකු  විසින් ලියන ලද සහ ඊට ඉහළින් සිටිනා ඉංග්‍රීසි ජාතිකයන් අතින්ද නිසි ලෙස පරික්ෂාවට ලක්වන මෙවැනි ලියාපදිංචි ලේඛණයක කිසි විටෙක ස්පෙටර් යන නාමය “ I” අක්ෂරයෙන් සදහන් කිරීම විශ්වාස කල නොහැකි කරුණකි. මන්දයත් එම නාමය ආරම්භ වන නිවැරදි අක්ෂරය වන්නේ “S” අක්ෂරය බැවිනි. එමෙන්ම පෙර කි කාල පරාසය තුල ස්පෙටර් සේනානායක මුදලිතුමා එවැනි අරක්කු රේන්ද ව්‍යාපාරයේ නිරත වුයේ නම්  අනිවාර්යෙන්ම ආනොල්ඩ් රයිට් විසින් 1907 දීම එය සදහන් කරන්නට අනිවාර්යෙන්ම ඉඩ තිබුණි. මන්දයත් අනොල්ඩ් රයිට් විසින් මෙම ග්‍රන්ථය රචනා කරන ලද්දේ එවක ආණ්ඩුකාර සහ අණදෙන ප්‍රධානි ශ්‍රීමත් හෙන්රි බ්ලේක් විසින් සිදු කල පැවරීමක ප්‍රතිඵලයක් ලෙසය. එවැනි තත්වයක් යටතේ අරක්කු රේන්ද ව්‍යාපාරය වැනි යටත්විජිත ආණ්ඩුවට ඉතා දැඩි ආදායමක් උත්පාදනය කරන ලද සහ එවැනි වගකිය යුතු තොරතුරක් කිසි විටෙක රයිට් වැනි දැඩි පර්යේෂකශිලි ලේඛකයෙකු  අතින් ගිලිහි යාමට කිසිසේත්ම ඉඩ නොතිබුණි බව සිතිය හැක.

එම ලියවිල්ල ප්‍රකාරව යම් කිසි සේනානායක නාම ලද්දෙක් විසින් එම රේන්ද බලපත්‍ර ලබා ගෙන ඇති බව පෙනේ. ඔහු මිගමුව,  අලුත්කූරු කෝරළේ විසු අයෙකු බවත්, ඔවුන් මාදම්පේ ප්‍රදේශයේ සේනානායක නැමති ප්‍රභූ පවුලක් ලෙස වෙසෙමින්  එකල රා මැදීම සහ පිප්ප නිෂ්පාදනය, ඉතා ජයටම සිදු කල බවටත් බොහෝ සාධක ඇත. මුහුදුබඩ පොල් රුප්පාව යනු රා මැදීම සහ අරක්කු නිෂ්පාදනය ඉතා දැඩිව සිදු කල ප්‍රදේශ බව නොරහසකි.   
  
එමෙන්ම දොන් ස්පෙටර් මුදලිතුමාගේ අධ්‍යාපන පසුබිම ගැනද පළ කරනා සැකය පිලිබදව ඇති දුර්මතයද බැහැර කළ යුතු කරුණකි. මන්දයත් ඒ පිළිබඳව ගම්‍ය වන තොරතුරක් සදහන් වන්නේ එච්. ඒ, ජේ හුළුගල්ල මහතා විසින් ඉංග්‍රීසි බසින් රචනා කොට 1975 වසරේදී ප්‍රකාශයට පත්කරන ලද   “ ද ලයිෆ් ඇන්ඩ් ටයිම්ස් ඔෆ් දොන් ස්ටීවන් සේනානායක - ශ්‍රී ලංකා ස් ෆස්ට් ප්‍රයිමිනිස්ටර්”  යන ග්‍රන්ථයේ සදහන් සුවිශේෂී තොරතුරු අතරේය. එහි සඳහන් අන්දමට දොන් ස්පෙටර් සේනානායක මුදලිතුමා මුලික අධ්‍යාපනය හදාරා ඇත්තේ මාතලේ - ශාන්ත තෝමස් විද්‍යාලයෙනි. ඔහු මිනිරන් ව්‍යාපාරයේ ඉතා සාර්ථක ලෙස නියුතු වූ බවද  එහි සදහන් වෙයි.

1865 වසරේදී මෙරට ප්‍රධාන දුම්රිය මාර්ගයේ පළමු නැවතුම ලෙස අඹේපුස්ස දුම්රිය ස්ථානය පිහිටුවීමට හේතුවූ ප්‍රධාන කරුණු  ද්විත්වයකි. එක් කරුණක් වුයේ අඹේපුස්ස තානායම වෙත අශ්ව කරත්තයෙන් ගමන්කළ හැකි දුරකින් එය පිහිටීමයි. අනෙක් ප්‍රධාන හේතුව වුයේ බෝතලේ පිහිටා තිබු දොන් ස්පෙටර් සේනානායකගේ මිනිරන් පතල් සංකිර්ණයයි . එකල යුරෝපයට මිනිරන් අත්‍යාවශ්‍යම නිෂ්පාදන අමුද්‍රව්‍යක් විය. එමෙන්ම ඇමරිකා එක්සත් ජනපදය සහ ජපානය යන රටවලින්ද මිනිරන් සඳහා දැඩි ඉල්ලුමක් තිබුණි.  එකල මිනිරන් “ බ්ලැක් ගෝල්ඩ් හෙවත් කළු රන් ” යන අනවර්ථ නාමයෙන් හදුන්වන ලද බව එහි සඳහන් වෙන අතර එමගින්ම එම අවධියේ  මිනිරන් වලට හිමිව තිබු වටිනාකම කෙතරම් යන්නද මනාව පැහැදිලි වෙයි.  එකල මිනිරන් ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපතිවරයා වුයේද දොන් ස්පෙටර් සේනානායකයි.  
ස්පෙටර් මුදලිතුමාගෙන් පසු බෝතලේ පිහිටි එම මිනිරන් පතල් වලට  හිමිකම් කියන ලද්දේ නිදහස් ශ්‍රී ලංකාවේ පළමු අග්‍රාමාත්‍ය වරයා වූ ඩි. එස්. සේනානායක මැතිතුමාය.  එතුමාට අයත්ව තිබු බෝතලේ මිනිරන් පතල්හි දැනට සුරක්ෂිතව ඇති  A508 / A509 / A510 / A583 යන  බලපත්‍ර සතරක පමණක් මුල් පිටපත් තවමත් එතුමන්ගේ මුණුබුරා වන දේවින්ද සේනානායක මහතා සතුව ඇත.     

හුළුගල්ල මහතා යනු තිස්වසරක පළපුරුද්දක් තිබු, ජේෂ්ඨ ජනමාධ්‍යවේදියෙක් වන අතර, කලක් “ සිලෝන් ඩේලි නිවුස්” පුවත්පතේ ප්‍රධාන කතුවරයාද විය. එලෙසම පසු කලෙක රාජතාන්ත්‍රිකයෙකු ලෙසද ඔහු සේවය කරන ලදී.  එම පොතේ සදහන් තොරතුරු වඩාත් සාධනීය යයි සිතිය හැකි වන්නේ,  තම ජනමාධ්‍ය දිවිය ආරම්භ කරන ලද 1918 වසරේ සිටම, අවසාන නිදහස් අරගලය සදහා ඇප කැපවී කටයුතු කල චරිත සියල්ලම සමග පාහේ ඉතා කිට්ටුවෙන් ඇසුරු කල සහ බොහෝ ඇසු පිරු තැන් ඇති බහුශ්‍රැත අයෙකු වූ නිසාය. 
ඉතිහාසය පිලිබඳ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කීර්තිමත් මහාචාර්යවරයෙක් සහ ග්‍රන්ථ කතුවරයෙක් වූ කේ. එම්. ඩි. සිල්වා මහතා විසින් ඉංග්‍රීසි බසින් සම්පාදනය කරන ලද “ ද ලයිෆ් ඔෆ් ඩි. එස්.   සේනානායක - (1884-1952)  ශ්‍රී ලංකා’ස් ෆස්ට් ප්‍රයිමිනිස්ටර් (1948 – 1952) අ පොලිටිකල් බයෝග්‍රැෆි” යන ග්‍රන්ථයේ සදහන් අන්දමට ස්පෙටර් සේනානායක මහතා යනු මිනිරන් ව්‍යාපාරිකයෙකු මෙන්ම  වැවිලිකරුවෙකු වශයෙන්ද ආදායම් ප්‍රභව තිබු අයෙකු බවත්, ඔහු එම අවධියේ වුවද තම ධනය වැය කොට තම දෙවැනි පුතු වූ එෆ්. ආර්. සේනානායක මහතා හට එංගලන්තයේදී අධිනිතිඥයෙකු වීමට දක්වා  අධ්‍යාපනයක්  ලබා දුන් බවත් යන තොරතුරු ඇතුළත්ය.

 එහි සදහන් වඩාත් වැදගත් කරුණක් වන්නේ මාර්ග භාවිතය සදහා ඔහු විසින් ලබාගෙන තිබු බදු ගිවිසුම් පත්ය. බ්‍රිතාන්‍ය පාලන සමයේ මෙරට විධිමත් මාර්ගයන් භාවිතයට සහ එහි ප්‍රවාහනය  සදහා යටත්විජිත ආණ්ඩුව විසින් බදු අය කරන ලදී. එකල ස්පෙටර් සේනානායක හට මිනිරන් ප්‍රවාහනය සඳහා අවශ්‍ය බලපත්‍ර ලබාගැනීමට මීගමුවේ පිහිටි කච්චේරිය වෙත යාමට සහ එම මිනිරන් යුරෝපය සහ ජපානය ඇතුළු අනෙකුත් රටවල් වෙත අපනයනයට  සුදානම් කිරීම සඳහා  කොළඹ බොරැල්ල කිතුල්වත්තහි පිහිටි ගබඩාව  සහිත කොළඹ කාර්යාලය වෙත රැගෙන යාමටත්, එම මාර්ග නිරතුරුව භාවිතා කිරීමට අවශ්‍ය විය. එහෙයින් එම මාර්ගයන්හි  බදු ගිවිසුම් මගින් ස්ථිරවම තමන් වෙත ලබාගෙන, එම මාර්ග තම අවශ්‍යතා සදහා භාවිතා කිරීමටත්, එමෙන්ම අවශේෂ පිරිස් සඳහා නොමිලේ භාවිතා කිරීමටත් ඉඩහසර සැලසු බව දොන් ස්පෙටර් මුදලි තුමාගේ මී මුණුබුරකු වන සහ සේනානායක තිඹිරි ගෙය වන වර්තමාන බෝතලේ වලව්වේ හිමිකරු වන දරණ දේවින්ද සේනානායක මහතා විසින් පවසයි. අංක 5366 සහ අංක 5393 යන අංක යටතේ 1897 වසර වෙනුවෙන් , 1896 වසරේ දෙසැම්බර් 02 වැනි දින නිකුත් කරන ලද  එම වටිනා ලියවිලි ද්විත්වයේ  මුල් පිටපත් බෝතලේ සේනානායක මුදලින්දාරාම මහා පිරිවෙණෙහි නායක ස්වාමීන්වහන්සේ ව වැඩවිසූ දෙල්වල ශ්‍රී මුනින්දෝභාස හිමිපාණන් විසින් දේවින්ද සේනානායක මහතා වෙත ලබාදෙන ලදුව  තවමත් එම පිටපත් ඉතා සුරක්ෂිතව පවතී.  

ස්පෙටර් සේනානායක මුදලිතුමා ඉතා දැඩි බෞද්ධ මාමක චරිතයක් වූ බව නොරහසකි. මන්දයත් ඔහු ශාසනික උන්නතිය උදෙසා සිදුකළ මෙහෙවර අපමණය.  තමන් සතුව තිබු  නිවසක්  සහ ඉඩමක් සංඝයා වහන්සේ වෙත පුජා කරමින්,  1911 ජුනි 19 වැනි පොසොන් දින කොකටියගොල්ලෑවේ  ශ්‍රී භාරතේන්ද්‍ර නායක  ස්වාමීන්වහන්සේ  ඇතුළු සංඝයා වහන්සේ වෙත සේනානායක මුදලින්දාරාමය නමින් සඟසතු කරන ලදී.  දෛවෝපගත සිදුවීම නම් එදින එම අවස්ථාවේදීම  තම මුණුබුරා නොහොත් ඩි. එස්. සේනානායක මැතිදුන්ගේ වැඩිමහළු පුත් රුවන වූ පසු කලෙක මෙරට අග්‍රාමාත්‍යවරයකුද වූ,  ඩඩ්ලි සේනානායක දරුවා මෙළොව එළිය දැකීමේ සුභ පණිවිඩය ලැබීමයි.

1912 දී අමද්‍යප ව්‍යාපාරය ආරම්භක කටයුතු සඳහාද ස්පෙටර් සේනානායක මුදලිතුමා නොමසුරුව තම ධනය දායක කල බව සහ අමද්‍යප ව්‍යාපාරය මෙහෙයවමින් මුලසුන හෙබවූ බවද - ජයසේන දහනායක මහතා විසින් රචිත දේශබන්දු එෆ්. ආර්. සේනානායක නම් ග්‍රන්ථයේ සඳහන් වෙයි.එම ග්‍රන්ථය තුළ අමද්‍යප ව්‍යාපරයේ ආරම්භක අවධියේ තිබු රැස්වීම් වල වර්තා පවා උපුටා ගෙන ඇති බැවින් එම තිරතුරු අධ්‍යනය කිරීම ඉතා වටිනා කරුණකි.  එමෙන්ම මෙම  කාලය තුලදී සුරාව මගින් ලෝකයේ වෙනත් රටවල් සහ ජාතින් හට සිදුවෙමින් තිබු හානිය පිලිබඳ දොන් ස්පෙටර් මුදලිතුමා  නිරතුරුව අවධානයෙන් පසු වූ බව පෙනේ. එෆ්. ආර්. සේනානායක මහතා තම එංගලන්ත නීති විද්‍යාලයේ සමකාලින සිසුවෙකු වූ මහත්මා ගාන්ධි මගින් දකුණු අප්‍රිකාවේ පැවති තත්වය පිලිබඳ බොහෝ තොරතුරු ලිපි මගින් දැනුවත් විය. ඉංග්‍රීසි අධිරාජ්‍යවාදය සුක්ෂම ලෙස මත්පැන් යොදාගනිමින් එම මහාද්වීපය බෙදා වෙන්කරන ආකාරය පිළිබද හොද අවබෝධයක් දොන්  ස්පෙටර් සේනානායක මුදලිතුමාට තිබු බැව් සිතිය හැකි කරුණකි. එමෙන්ම ඔහු එම තොරතුරු මෙරට අතීත තත්වය සමගද සසදා බැලිය. 1815 ට පෙර වකවානුව ඉංග්‍රීසින් විසින් ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාව සුරාවට ලොල් කරවූ ආකාරය සහ එහිදී ජෝන් ඩොයිලි කටයුතු කල ආකාරය පිළිබද සාක්ෂි සහ තොරතුරු කොතෙකුත් ඉතිහාසය ගෙන හැර පායි. දොන් ස්පෙටර් සේනානායක හට පෙනී ගියේ ඉතිහාසය නැවත ප්‍රතිනිර්මාණය වන බවය. එහෙයින් ඔහු අමද්‍යප ව්‍යාපාරයට සක්‍රියව දායක විය. අරක්කු රේන්දය ඔහුගේ මුල්‍ය මුලාශ්‍රය වුයේ නම්, කිසිදා ඔහු තම ආදායම අහිමි කර නොගනු ඇත.

ඉතා ප්‍රභල ආර්ථික සහ සමාජීය පසුබිමක් තිබු, පරිත්‍යාගශීලි,  බෞද්ධ පුනරුදය සහ අමද්‍යප ව්‍යාපාරය සදහා පෙරමුණ ගත් ප්‍රභූවරයෙකු පිලිබඳ නිසි විමර්ශනයක් නොකරමින්, එවන් වූ චරිත සොක්කන් ලෙස සිට ලොක්කන් වූ බවට පත් වූ බැව් පැවසීමට තරම්, අඥාන වීම විද්වතුන් යයි සිතනා එවැනි පිරිස් පිලිබඳ කණගාටුවක් උපදවයි.     

තම දේපොළ සහ අනාගතය උකසට තබමින්, මහා බලයක් තිබු හිරු නොබසිනා අධිරාජ්‍යවාදීන්ගේ පාලනය සමග ගැටෙමින්, මත් උවදුරින් ජාතිය බේරාගැනීමට සහ මේරටට නිදහස උදාකරදීමට නිර්ලෝභීව දායක වූද, මෙරටට වටිනා අනාගත දේශපාලනික චරිත බිහිකලාවුද,   බෝතලේ වලව්වේ දොන් ස්පෙටර් සේනානායක වැනි උත්තම චරිත වෙත අමුලික අසත්‍ය වපුරමින් සහ  එම අසත්‍ය සමාජගත කරමින් කල් ගෙවනු වෙනුවට,  ආචාර්ය සහ මහාචාර්ය විද්වතුන් වශයෙන් සහ ජාතියක් වශයෙන් එවැනි උතුම්  චරිත වෙත අප  මිට වඩා ගෞරව බහු මානයක් ලබා දිය යුතු නොවන්නේද යන්න අපගේ හදවත් වලින්ම විමසා බැලිය යුතු පැනයකි. 

රංග ශ්‍රී පීරිස්
මාධ්‍ය ලේකම් - සේනානායක  පදනම
077 201 47 17

Comments

Popular posts from this blog

Was Don Spater Senanayake, who had sponsored the Temperance Movement , an Arrack Renter?

*. This article was published on 11th November 2018 - "Sunday Times" News Paper  (Sri Lanka) Was   Don   Spater   Senanayake, who   had    sponsored   the   Temperance   Movement , an   Arrack   Renter? This country and its people were under foreign powers for more than four centuries. The battle of Mulleriyawa, during the Portuguese era and the Uva Rebellion during the British, were the two main uprisings the country had to face   in her long struggle for independence.  Although they   were   not    fully successful   in   their   attempts at   that   goal, mainly   due   Social, Economic, and   environmental    factors   at   that      time, but   it did help the country to achieve its final goal   later   on, mainly due to the    commitment, determination   and dedication of ...

බොතලේ සේනානායකවරුන්ගේ දුර්ලභ තොරතුරු - Rear Information and Sources of Bothale Senanayake Family

Plumbego Licence  - මිනිරන් පතල් බලපත්‍රය (A509)    Plumbego Licence  - මිනිරන් පතල් බලපත්‍රය (A508)  Plumbego Licence  - මිනිරන් පතල් බලපත්‍රය (A510)   Plumbego Licence  - මිනිරන් පතල් බලපත්‍රය (A583)    Plumbago Merchants Union- මිනිරන් ව්‍යාපාරික එකමුතුව  Bothale Senanayake Family - බොතලේ සේනානයක පවුල  Bothale Walauwa - බොතලේ වලව්ව